Sunday 7 June 2015

ඔබට ස්තුතියි

වසර දෙකක අලකලංචි රාශියකට පසු නිවන් සැප බලාපොරොත්තුවෙන් සිටි චීනාට ජීවත් වීමේ භාග්‍ය ලැබුනේය. එපමණක් නොව යලි ලංකාව බලා පියාසර කිරීමේ අවසරයද ලැබිණි.

 ඒත් ගෙදර ආවිට චීනාට තරු පෙනිනි. හාමිනා විසින් අර ෆිල්ටර මේ ෆිල්ටර අටවන ලද isolated රූමයක් තුල චීනා සිරකරන ලදී. ඒ වයිරස හා බැට්ටීරියා ඉන්ෆේක්ෂන්ද මොනවද වලක්වන්නට කියලා උන්දෑ කියනවාය.   හාමිනාගේ අවසරයකින් තොරව මේ කාමර කෑල්ලෙන් එලියට බහිනවා බොරුය.

 රවුටර, සර්වර එක්ක ඔට්ටු වුනු චීනා දන්න බැට්ටීරියාවක් නැතත් හාමිනා ඒ ගැන දන්න නිසා චීනා සද්ද වහලා ඉන්නට හිත හදා ගත්තාය.(මේ ගැන චරුචුරු ගාන විට "බක පණ්ඩිතකම් කරලා ආයෙත් අර කෙල්ලට වදනොදී හිටපං" කියලා චීනාගෙ මවුතුමියද ඉතා සෙනෙහෙබරිතව රවමින් නිවේදනයක් නිකුත් කොලාය).

 ඉස්සර චීනා ඉතා කැමැත්තෙන් කළ වලං හේදීම, බබාලා බැලීම, කඩේ යාම සපුරා තහනම්ය. කටේ තියන්ඩ බැරි ඉස්පෙසල් කෑම ද, අනෙකුත් සියලු භාණ්ඩ හා සේවාවන්ද හාමිනා හා මවුතුමිය විසින් ඉතා ආදරෙන් ඇඳ ලඟටම සපයන බැවින් ශරිර කෘත්‍ය සඳහා පමනක් කාමරෙන් එලියට යාමට ඉඩදෙනු ලැබේ. ඒ ද මුඛවාඩමක් බැඳගත්තාට පසුවය. මදෑ කොලා !


රෝහලේ අවසාන දින වල

නීති රීති අට්ටෝ රාශියක් තිබුනත් මේ ආකාරයට හරි ජීවත් වෙන්ඩ ලැබීම මැරෙනවාට වඩා හොඳය. මැරුනට පසු දිවිය ලෝකෙ යන්ඩ චීනා හිතාගෙන හිටියත් මැරෙන එක පනයන වැඩක් බව පහුගිය කාලේ චීනට වැටහුනේය. ඒ හින්දා මෙහෙම හරි පන පිටිං හිටීම මහත්ම පිරිතියකි. මරණයට පියවර කීපයකට නොඅඩු දුරකට පැමිණි චීනා ඒ නිසාවෙන්ම අවබෝධ කරගත් දෑ බොහොම වුනත් එව්වා පරසිද්ධ මාද්දියක නොකිවමනා බව  චීනාගේ හැඟීමය. 

ඒ කෙසේ වෙතත් චීනාගෙ පණ කෙන්ද බේරාගැනීමට එකී මෙකී නොකී හැම ආකාරයෙන්ම උදව් පදව් කළ සියලු දෙනාට චීනා මෙයින් කෘතඥතා පූර්වක ඉස්තුතිය පලකර පුණ්‍යානුමෝදනා කරනවාය.

Thursday 2 April 2015

බට කැපූ වග

චීනා චීනෙක් වුනෙත් ජීවිතේ ගොඩ දාගත්තෙත් චීනගෙ ඉස්කොලෙ හින්දාය(හැමදාමත් ලඟින් ඉන්න අපත කබ්බො ටික හෙවත් එක කුස උපන් යාළුවො ටිකත් එහෙන්ම තමයි.) ඕං ඉතින් ඒ කාලෙ එක අවුරුද්දක ඉස්පොර්ට් මීට් එකට නිවාස හෙවත් හවුස් හෙවත් හට් හදන්න අපේ ලොකු සෑර් අනුමැතිය දුන්නෝය. (( අපේ ඉතා යහපත් කල්ක්‍රියාව හේතු කොටගෙන පෙර වසර කීපයක් නිවාස හදන්ඩ එපා කියලා මුලු ගුරු මණ්ඩලේම   හරිම ආදරෙන් කියාහිටියේ ඒවා හදන ගමන් අහල පහල වතු සුද්ද කිරීම, ගල් බෝතල් වල ගල් ඉවත් කිරීම, හෝලික්‍රොස් හා රත්නාවලී පාසල්වල තාප්ප වර්ණගැන්වීම වැනි අටෝරාශියක් අමතර වැඩ කිරීමට අපි නිරපරාදේ මහන්සිවෙන එකට  දුකෙනි.)) 

අපේ නිවාසයේ භාණඩාගාරික තැන්පත් අජ්ජයියා (තැන්පත් කීවාට හැම අමන වැඩකම සිරා පාර්ට් එක ගොඩදාන්නෙ අජ්ජයියාය) ඉතා නොමසුරු පුද්ගලයෙකු වූ බැවින් හවුස් ෆන්ඩ් එකෙන් අපට ගල්ද මල්ද කොත්තුද අවශ්‍ය අනෙක් කළමනාද  ගැනීමට  ප්‍රතිපාදන ලබාදී තිබිණි.අපේ සෙට් එක ඉතිං අවශ්‍ය අඩුම කුඩුම ටිකත් අරගෙන ගිහින්  හවස  4ට විතර වැඩ පටන් ගත්තෝය. අපේ සිරා ක්‍රියේටිව් අයිඩියා අනෙක් හවුස් වල උන් කොපි කරන්නට ඉඩ ඇති බැවින් අපි මුලින්ම පොල් අතු පොලිතින් ආදියෙන් අපේ කොටහ වටකර ගතිමු.((නැතුව සර්ල මැඩම්ලට එහෙම අහිංසක අපි අහිංසක ආකාරෙට ගල් , මල් ආදියෙන් මහන්සිවී වැඩ කරනවා පේනවට නෙවීය.))
කොමිටල් ගොඩක් මැද අපි රෑ 11 විතර වෙනකල් වැඩේ සිරාවටම කරගෙන ගියා. ඕං හදිසියෙම ජායිංගේ ඇවිත් " කෝ බං පෙමයි කොටයි?" කියල අහපි.
  " මම උන් දෙන්න යැව්ව බට  ටිකක් කපාගෙන එන්ඩ. මේක සරසන්ඩ  .ඇයි අවුලක් ද ?" අදිකාරි අයියා කීවා.

 "මල  .......යි. ( කියවන ලමයි නරක්වීමට ඉඩ ඇති බැවින් අදාල වචනය කපා හරින ලදී.)" ඒකල දෙන්න නප්පියටම ගුලි කාල හිටියෙ. අපේ කාමරෙ දාගෙන මම හිටියෙ වැඩේ චොර වෙන හින්දා. මට බොඟක් සෙට් වුනා ඒ ටිකට මුං පැනල". 

"එහෙමට අවුලක් පෙනුනෙ නෑ බං. උන් ඔය ෂේප් එකෙ එයි".


12:30 වුනා තාමත් මුං දෙන්න නෑ . අපි පොඩි සර්ච් පාරක් දාන්න යන්න හදන කොටම ඕං ඩබල එනවා කරට අත දාගෙන හිනාවෙවී. එකෙක් පත මන්න පිහියකුයි අනෙකා ලොකු ෂොපිං මල්ලකුයි අරගෙන නාල වගෙ තෙමිල. අදි අයිය දැක්ක විතරයි  කොටා කපුවෙක් වගෙ ආවේශ වුනා.

 "මොකද්ද යකෝ මේ  ......රි  (ඕං ආයිත් කැපුවෝ)  වැඩේ. උඹල මෙතන එක්සෙකෙටිව් වැඩ කර කර අපිට දෙනවා ගූ වැඩ . අපේ අම්ම එහෙම දැක්කොත් අහයි මගෙ රත්තරං පුතාට උන් මොකද කලේ කියල(පුතා කැරට් 24 කියල පේනවනෙ)".

 හැමෝටම තේරුනා වැඩේ අවුල් කියල. මොකද අපි සාමාන්‍යයෙන් වැඩිහිටි අයට කුණුහරුපෙන් කතා කරන්නෙ නෑ . අදි අයියා වැඩේ ෂේප් කරනවා.

 " නෑ මල්ලී උඹල දෙන්න විතරයිනෙ ටිකක් මොළේ කල්පනා කරල වැඩක් කරන්නෙ. ඒකයි මම උඹලටම මේක බාර දුන්නෙ. මුං ටික තැනකට ගියොත් ගමයි පාසලයි දෙකම ඉවරයිනෙ බං."

   "බලහං අදි අයියෙ උඹට  විතරයි අපේ අගේ තේරෙන්නෙ අර   ....රි (හි හී නරක වචන) ජායියා  අපිව කාමරේට දාල වහල ගියේ ඕක හිතන්නැති අපිට  එලියට එන්ඩ බෑ කියල අහුවුනොත් බට කැපුවා වගෙ කපන්නෙ ඕකව."

  "අල්ලලා දාපං බන් උඹලට වගෙ මොළයක් නෑ නෙ ඌට.කෝ බං උඹල කපපු බට?.දාලා ආවද?" 

 " පිස්සුද බං අයියෙ මේ තියෙන්නෙ" 
පෙමා බොහොම ආඩම්බරෙන් අතේ තිබුණු ෂොපිං මල්ල බිමට හැලුවා එස්ලෝන් බට කෑලි, එල්බෝ කෑලි ගොඩක්  එතන. 

"මේ මොනවද බං?" 

"අයෙ නම් යන්ඩ බෑ අයියෙ. ඔය මේ වටේම ගෙවල් වල පාරෙ ඉඳන්  ඇතුලට යන බට. තාප්පවලින් ඇතුලට පැනල ඇතුලෙ බට කපන්න බෑනෙ බං මිනිස්සුන්ට ඇහැරෙනවනෙ. ඔය ටිකෙන් කරන මඟුලක් කරපන්."

අපිට වැඩේ මීටර් වුනේ එතකොටයි. මුන් දෙන්න බට කියල කපල තියෙන්නෙ පාරෙ ඉඳන්  ගෙවල් වලට යන වතුර බට.

මේ වැඩෙන් ගුටි නොකා බේරුණ හැටි ඊ ලඟ පොස්ට් එකෙන්................

Monday 30 March 2015

වාරියගෙ ගෙදර යාම

වාරියා මට  විශ්වවිද්‍යාල තුල හමුවූ අමුතුම චරිතයකි. අතිශයින් නිහඩ වාරියා ආශ්‍රය කලේ මිතුරු මිතුරියන් පස් හය දෙනෙකු පමණි. වාරිගේත් මගේත් හිතවත් කම ඇතිවුනේ අහම්බෙන්. මට අති දරුණුවට home sick තිබුන නිසා මම වැඩි කාලයක් කැම්පස් ආවෙ ගෙදර ඉඳන්.  ගෙදරින්  වැඩිය පරක්කු වුනොත් කැම්පස් යන්න අම්බානකට පරක්කුවෙන නිසා මම කුකුළ අතින් නෙවෙයි කටින්ම හපාගෙන තමයි ගෙදරින් පිටවෙන්නෙ. ඉතින් 6:30 වෙනකොට කොල්ල කැම්පස් එකේ.

read more..

Sunday 29 March 2015

සිංහලෙන් බ්ලොග් ලියමු. sinhala typing tool forBloggers

ඔන්න පලවෙනි පොස්ට් එකෙන් ඔයාලට ප්‍රයෝජනවත් දෙයක් දෙන්න හිතුවා. මම හාපුරා සිංහලෙන් blog එකක් කොටන්න හැදුවට මට සිංහල ටයිප් කරන්න බෑ හිටං. ඉතින් ගූගල් පාරක් දාලා ගැලපෙන සිංහල ටයිපිං ටූල් එකක් හොයාගත්තා. මේක ගූගල් ටූල් එකට වඩා පහසුයි.හොඳ help එකක් එහෙමත් තියෙනවා. අපිට තියෙන්නෙ singlish වලිං ටයිප් කරන්න එතකොට ඒක මේ tool එකෙන් සිංහලට පරිවර්ථනය කරල දෙනවා මම වැඩ කරන්නෙ windows 8 වල මේ OS එකේ අවුලක් නැතුවමේක වැඩ.  try කරල බලන්න URL එක පහලින් දාන්නම්.





හොඳයි කියල හිතෙනවනම් මට  g+ එකක් වත් දෙන්න හොඳේ
ඔන්න මමත් බ්ලොග් එකක් ලියන්න හිතුවා ළඟදීම අලුත් පොස්ට් එකක් එක්ක ඔයාලව හමුවන්නම්.